Monday, November 30, 2009

සංඛ්‍යාත්මක දහම් කරුණු


සංඛ්‍යාත්මක දහම් කරුණු

ත්‍රිලක්‍ෂණය – අනිච්ච, දුක්ඛ, අනත්ත යන්නයි. මුළු බුදු දහමම වචන තුනකින් හා අකුරු අටකින් හැඳින්විය හැකි බව පඬිවරු පවසති. බුදුපියාණන් වහන්සේ සතළිස් පස් වසරක් පුරා දෙසූ දහම කැටිකර ගත් කල්හි එය අනිච්ච, දුක්ඛ, අනත්ත යන පද තුන යටතේ ගොණු කළ හැකි ය. අකුරු අටනම් එම පද තුනේ ලඝු, ගුරු සෙයින් ගත් කළ ඇති අකුරු අට ය. අනිච්ච, දුක්ඛ, අනත්ත මේ අකුරු අටයි.

අසූහාර දහසක් ධර්මස්ඛන්ධය -
විනය පිටකය ස්ඛන්ධ 21, 000
සූත්‍ර පිටකය ස්ඛන්ධ 21, 000
අභිධර්ම පිටකය ස්ඛන්ධ 42, 000
එකතුව 84, 000

විනය පිටකයෙන් ශ්‍රද්ධා මාමක ශීලයත් සූත්‍ර පිටකයෙන් උපායමාර්ග චර්යාවත්, අභිධර්ම පිටකයෙන් විද්‍යාත්මක දැනුමත් ලබා ගනිමින් සත්වයාගේ උපතේ සිට මරණය දක්වා ලෞකික හා ලෝකෝත්තර ගුණාංග වර්ධනයත් දිවි කෙළවර නිවන් පසක් කර ගන්නා ආකාරයත් මෙම අසූහාර දහසක් ධර්ම ස්ඛන්ධයන්ගෙන් ප්‍රකාශිත ය.

බුද්ධාදි අටතැන්හි වන සැකය

1. බුද්ධේ කංඛති – බුදුරදුන් කෙරෙහි සැක කිරීම.
2. ධම්මේ කංඛති – ධර්මය කෙරෙහි සැක කිරීම.
3. සංඝෙ කංඛති - සංඝයා කෙරෙහි සැක කිරීම.
4. පුබ්බන්තෙ කංඛති - පෙර අත්බැව් ගැන සැක කිරීම.
5. අපරත්තෙ කංඛති –පෙර පරදෙලොව ගැන සැක කිරීම.
6. පුබ්බත්තා පරන්තේ කංඛති – පරලොව ගැන සැක කිරීම.
7. සික්ඛාය කංඛති - ශික්‍ෂාපද ගැන සැක කිරීම.
8. පටිච්ඡ සමුද්පාදේ කංඛති - හේතුඵල ධර්මය ගැන සැක කිරීම

සදිසා නමස්කාරය

1. පෙරදිග මවුපියන්
2. දකුණ – ගුරුවරුන්
3. බටහිර – අඹුදරුවන්
4. උතුර – හිතමිතුරන්
5. යට – දැසි දස් කම්කරුවන්
6. උඩ - ශ්‍රමණ බ්‍රාහ්මණයින්

චතුරාර්ය සත්‍යය හා එහි දොළොස් ආකාරය – (ඒවං තිපරි වට්ටං ද්වාදසාකාරං)

සතර සත්‍යය – දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග (මෙම සත්‍ය සතර එකක් එකක් තුනෙන් ගුණකළ විට 12 ක් ලැබේ.) එය ද්වාදශාකාරය හෙවත් දොළොස් ආකාරයයි. තුනෙන් ගුණ කිරීම නම්,

1. සත්‍යඤාණ – චතුරාර්ය සත්‍ය ,සත්‍යය බව සිතීම.
2. කෘත්‍ය ඤාණ – එම සත්‍යය එසේම කිරීම හෙවත් ප්‍රගුණ කිරීම.
3. කෘත ඥාන – ප්‍රගුණය අවසානයේ එය ප්‍රගුණ කළා යයි දැන ගැනීම.

මෙසේ එක් එක් සත්‍ය පිළිබඳ සිතා, කර, අවසන් වීමේ ත්‍රිවිධ කාර්යය නිමාවීමත් සමග 12 ක් වේ. තිපරිවට්ටයෙන් සත්‍ය සතර දොළොස් අයුරු වන්නේ එපරිද්දෙනි.

චතුරංග මහා කළුවර -

1. මාසේ පෝය දා
2. මධ්‍යම රාත්‍රියේ
3. මහ ඝන වනයක් මැද
4. පහළවන මොරසූරන වැස්සේ ඇතිවන කළුවර

අට මහ නරකය -

1. සංජීවය,
2. කාලසූත්‍රය,
3. සංඝාතය, 4. රෞරවය,
5. මහා රෞරවය, 6. තාපය,
7. ප්‍රතාපය,
8. අවීචි මහ නරකය.

තිභුවන -

1. දිව්‍ය ලෝකය,
2. මනුෂ්‍යලෝකය,
3. නාග ලෝකය

ත්‍රිවිධ සම්පත් -

1. මනුස්ස සම්පත්තිය,
2. දිව්‍යසම්පත්තිය,
3. නිර්වාණ සම්පත්තිය

තුන් බෝ -

දාගැබ්, බෝරුක්, විහාර

ත්‍රිවිධ මදය -

ජාති මදය, නිරෝගී මදය, යෞවන මදය

ත්‍රිවිධ කෝලාහල -

කල්පකෝලාහල, චක්‍රවර්ති කෝලාහල, බුද්ධ කෝලාහල

සංවේග වස්තු අට -

1. ජාති,
2.ජරා,
3. ව්‍යාධි,
4. චුතී,
5. අපාය,
6. අතීත දුක්ඛ,
7. වර්තමාන දුක්ඛ,
8. අනාගත දුක්ඛ

ආර්ය ශ්‍රාවකයෝ සතර දෙන -

සැරියුත් මහරහතන් තෙරණුවෝ - ධර්මසේනාධිපති
මුගලන් මහ රහතන් තෙරණුවෝ - ධර්ම පුරෝහිත
කාශ්‍යප මහ රහතන් තෙරණුවෝ - ධර්මාධිකාරී
ආනන්ද මහ රහතන් තෙරණුවෝ - ධර්ම භාණ්ඩාගාරික

දස අනුස්සව -

කාලාම සූත්‍රයේ මෙසේ දක්වා ඇත.

1. මා අනුස්සවේන – ඇසීමෙන් පමණක්
2. මා පරම්පරාය – පරම්පරාවෙන් ආ බව කීම
3. මා පිටක සම්පදාය - පොත් පත්වල සඳහන් වූ පමණින්ම
4. මා ඉතිකිරාය - මෙසේ යැයි කී පමණින්
5. මා සමණෙ නොගරු - ශ්‍රමණයින් කී පමණින්
6. මා හම්බරූපතාය - සුදුසුකම් සැලකීමෙන්
7. මා තක්ක හේතු - තර්කයට එකඟ බැවින්
8. මා නය හේතු - න්‍යායට එකඟ බැවින්
9. මා ආකාර පරිවිතක්කාය – එහෙම නිසා
10. මා දිට්ඨි නිජ්ඣානක් වත්තියා - තම දෘෂ්ටියට එකඟ නිසා

මේ අයුරු පිළිනොගෙන සියල්ල පරීක්‍ෂා කර බලා යමක් පිළිගත යුතු බව බුදුදහමෙහි එන මූලික ඉගැන්වීමකි.

(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts


(Blog)
http://saveourbuddhism.blogspot.com/


(e-mail)
saveourbuddhism@gmail.com

Thursday, November 19, 2009


යත්‍ථකාම නිපාතිනං - කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ ඇස කණ නාසය දිව ශරීරය මනස යන ෂඩ් ආයතනයෝ දැකීමෙන් ඇසීමෙන් ආඝ්‍රාණයෙන් රසයෙන් ස්පර්ශයෙන් අරමුණු ගැනීමෙන් යන දේවලින් සිතත් සමඟම ඇලී කටයුතු කරති. ඒවායේ ඉක්මනින් ඇලීමට පත් වෙති. ඒ ඉන්ද්‍රියයන් පි‍්‍රය කරන දේ නිතරම ඉල්ලති. ‘චිත්තං රක්ඛේථ මේධාවී - නුවණැත්තා සිත රකින්නේය.

සුදුද්දසං සුනිපුණං යත්‍ථකාම නිපාතිනං
චිත්තං රක්ෙඛීථ මේධාවී - චිත්තං ගුත්තං සුඛවහංන්තී

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි සසුන් බඹසරෙහි නොහැසිරුණු භික්ෂූනමක් උදෙසා මේ ගාථාව වදාළ සේක.

සැවැත් නුවර වාසය කළ එක්තරා සිටු පුත්‍රයෙක් තම හිතවත් ස්වාමීන් වහන්සේ නමක් වෙත ගොස් ස්වාමිනී! මම දුකින් මිදීමට කැමැතියි. ඒ දුකින්මිදීමේ ක්‍රමයක් මට කියන්න යැයි ඉල්ලා සිටියේය. ඔබ දුකින් මිදෙන්න කැමැතිනම් හැකිතාක් දන් දීමෙහි යෙදෙන්න. සිවුරු පිරිකර පිරිනමන්න. තමන්ගේ ධනය කොටස් තුනකට බෙදා එක් කොටසක් කර්මාන්ත සඳහා දියුණුවට ද එක් කොටසක් අඹුදරුවන් රැකීමට ද අනෙක බුදු සසුනෙහි දියුණුවට ද යොදවන්න.

භික්ෂුවගේ අවවාදය පිළිගෙන සියලු දේ සිදුකර නිමවා නැවත දවසක භික්ෂුව දැකීමට ගියේය. ස්වාමිනී! කියු කටයුතු සියල්ල නිම කළෙමි. දැන් කළයුත්තේ කුමක්දැයි විමසීය. පන්සිල් සමාදන් වී මැනවින් රකින්න යැයි භික්ෂුව අවවාද කළේය. උපාසකතුමා එයද ක්‍රියාවට නැංවීය. එය නිමකර භික්ෂුව වෙත ගොස් දැන් කළයුත්තේ කුමක්දැයි ඇසීය. දස සිල් රකින්න යැයි කීවේය. ඒ අවවාදය ඉටුකර දැන් කළ යුත්තේ කුමක්ද? ඇසීය. පැවිදි වන ලෙස කීවේය. උපාසකතුමා පැවිදි විය.

පැවිදි වීමේදී අභිධර්මික භික්ෂුවක් සහ විනයධර භික්ෂුවක් පිළිවෙලින් ඔහුට ආචාර්ය උපධ්‍යාය විය. උපසම්පදාව ලබා ඇති නවක භික්ෂුව ආචාර්යවරයන් ළඟට ගිය කළ අභිධර්මය ද උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිය කල විනය දහමද උගන්වයි. මේ ඉගෙනීම නවක භික්ෂුවට මහත් කරදරයක් සේ දැනිණි. විනය දහම් ඉගෙන ගැනීමේදී ‘බුදු සසුනෙහි’ පැවිදි වූවෝ විසින් මේ දේ කළ යුතුය. මේ දේ නොකළ යුතුය. මේ දේ කැපය. මේ දේ නොකැපය. යනුවෙන් ඉගෙන ගත් පසු නවක භික්ෂුව මා හිතුවා සේ නොවෙයි. විනය දහමට අනුව අත දිගු කිරීමට තරම්වත් ඉඩක් සසුනෙහි නැත. මේ විදියට නම් ගෙදර සිටම දුකින් මිදිය හැකිය.

උපැවිදි වී ගෙදර යාමට සිතා මොහු ඉගෙනිමද නතර කළේ ය. ශරීරය වැහැරී ගියේය. නහර ඉල්පුනේය. අලසකම වැඩුනේය. එක තැනටම වී සිටිනවා දුටු මේ භික්ෂුවගෙන් අනෙක් පැවිද්දෝ එකතැනටම වෙලා ශරීරය සුදුමැලි වෙලා පැහැය වෙනස් වෙලා ඊට හේතුව කුමක්ද? ඇසුවේය. එවිට සියලු කරුණු අනිකුත් ස්වාමීන් වහන්සේට මේ භික්ෂුව කීවේ ය. අනෙක් ස්වාමීන් වහන්සේ මේ බව ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට දන්වා සිටියහ.

උන්වහන්සේලා මේ භික්ෂුව බුදුන් වහන්සේ සමීපයට කැඳවාගෙන ගියහ. මහණෙනි, කුමක් සඳහා මෙහි ආවේද? බුදුන් වහන්සේ වදාළ විට මේ භික්ෂුව සසුනෙහි කලකිරී සිටින බව සැලකළහ. බුදුරජාණන් වහන්සේ සැබෑද මහණ! ඇසූවිට ‘එසේය’ යි පිළිතුරු දුන්නේය. කුමක් නිසා කළකිරුනේද? නැවත ඇසූවිට ‘ස්වාමිනී! මම දුකින් මිදෙනු කැමතිව පැවිදි වුනෙමි. මට ආචාර්යන් වහන්සේ අභිධර්මයත් උපාධ්‍යයන් වහන්සේ විනය දහමත් උගන්වනු ලබනවා. ඒවා ඉගෙන ගන්නා විට මට බුදු සසුනෙහි අත දිගු කිරීමටවත් ඉඩක් නැත යනුවෙන් සිතුනේය. ගිහි ගෙදර ද දුකින් මිදිය හැකි බැවින් උපැවිදි වී යාමට සිතුවෙමි යි කීවේය. එවිට බුදුන් වහන්සේ මහණ! තාගේ සිත රැකිය හැකිදැයි ඇසූහ. ‘එහෙයි ස්වාමිනි! යි ඔහු පිළිතුරු දුන්නේය. ඉන් අනතුරුව බුදුන් වහන්සේ ‘එසේනම්, තමන්ගේ සිත පමණක් රැකගැන්නැයි අවවාද කොට මේ ගාථා ධර්මය දේශනා කළ සේක.

සුදුද්දසං සුනිපුණං යත්‍ථකාමනිපාතිනං
චිත්තං රකේඛීථ මේධාවී චිත්තං ගුත්තං සුඛාවහන්නතී

දැකීමට අපහසු වූ ඉතා සියුම් වූ කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ සිත, නුවණැති පුද්ගලයා රැක ගනී. සිත රැක ගැනීමෙන් සුවගෙන දේ.

සුදුද්දසං - මනාසේ දක්නට අපහසු වූ
සුනිපුණං - ඉතා සියුම් වූ

සිත අරූපී ධර්මයකි. ඇසට නොදැක්ක හැකිය. දුරගමන් කළ හැකි, හුදකලාව හැසිරෙන සිරුරක් නැති ගුහාවක් තුළ පවතින සිතේ. මෙම ගති ඇති බව පෙනේ.

යත්‍ථකාම නිපාතිනං - කැමැති යම් අරමුණක වැටෙන සුළු වූ ඇස කණ නාසය දිව ශරීරය මනස යන ෂඩ් ආයතනයෝ දැකීමෙන් ඇසීමෙන් ආඝ්‍රාණයෙන් රසයෙන් ස්පර්ශයෙන් අරමුණු ගැනීමෙන් යන දේවලින් සිතත් සමගම ඇලී කටයුතු කරති. ඒවායේ ඉක්මනින් ඇලීමට පත් වෙති. ඒ ඉන්ද්‍රියයන් පි‍්‍රය කරන දේ නිතරම ඉල්ලති. ‘චිත්තං රක්ඛීථ මේධාවී - නුවණැත්තා සිත රකින්නේය.

අපේ ඇස් දෙක ලස්සන රූප ඉල්ලනව. කන්දෙක මිහිරි ශබ්ද ඉල්ලනව. නාසය මිහිරි සුවඳ ඉල්ලනව. දිව මිහිරි රස ඉල්ලනවා. ශරීරය සියුම් ස්පර්ශ ඉල්ලනව.

මනස පි‍්‍රය කරන දේවල් ඉල්ලනව. අණුවනයෝ අර ඉන්ද්‍රියයන් ඉල්ලන දේ දෙන්න මහන්සි ගන්නවා. උත්සාහ කරනවා. නමුත් නුවණ ඇති අය එසේ නොකර සිත රැකගනු ලබනවා. සිතට වහල් නොවී කටයුතු කරනවා.

චිත්තං ගුත්තං සුඛාවහං- සිත රැක ගැනීමෙන් සුව ගෙනදේ. සිතට වුවමනා දේ නොව අපට අවශ්‍ය දේ කිරීමෙන් යහපත් සාරධර්ම සිදු කරන අයකු විය හැකි වේ.


(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts


(Blog)
http://saveourbuddhism.blogspot.com/


(e-mail)
saveourbuddhism@gmail.com

Tuesday, November 17, 2009

නොපමාවෙන් වැඩෙන යසස


පස්, පව්, දස අකුසල් කෙරෙහි චිත්ත සන්තානයේ නම්‍යතාව වැඩි ය. එසේම එවන් කර්ම කිරීමෙන් ලබන සතුට නසා මොහොතින් මොහොත මිනිස් සිත නීවරණ තුළින් කිළිටි වන්නේ ය. එය මරණින් මතු සතර අපායෝත්පත්තියක් ලැබීමට හේතු කාරක වේ. එම නිසා සමථ විදර්ශනා වඩා දෙලොව සුව සලසා ගැනීමටත් කෙළවර නිවනින් සැනසෙන්නටත් පවිත්‍ර චේතනාව මූලාධාරයක් වේ

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤ තස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඩති....


සියලු ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් හා දයාවෙන් යුක්තව පුරා පන්සාලිස් වසක් මුළුල්ලෙහි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දහම් දෙසූහ. මනසින් උසස් වූ මිනිස් වර්ගයා ඇතුළු සත්වයන්, බුදුන් වහන්සේ මේ බියකරු සසර කතරින් එතෙර කරවීමට ගත් වෙහෙස අපමණය.

ධම්ම පදයේ අප්පමාද වග්ගයේ ගාථා ධර්මයක් මාතෘකා ගාථාව වශයෙන් ඉහතින් සඳහන් කරන ලදී. එහි සරල අදහස නම් නොපසුබස්නා වීර්යය සහ යහපත් සිහිය ඇති නිවැරැදි කාය, වාග් කර්ම ඇති මනා නුවණින් විමසා කටයුතු කරන දැහැමිව දිවි ගෙවන තැනැත්තාගේ යසස කීර්තිය නොපමාව වැඩෙන බවයි.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන නම් අරමෙහි වැඩ වසන සමයෙහි කුම්භඝෝෂක නම් තරුණ සිටු පුතකු අරභයා ඉහත ගාථා ධර්මය දේශනා කර වදාළ සේක. රජගහ නුවර හතළිස් කෝටියක් ධනයට හිමිකම් කියූ මහා සිටු පවුලක් විය. එකල රජගහනුවර වැසියෝ අභිවාතක නම් දරුණු වසන්ගත රෝගයකින් පෙළෙන්නට වුහ. එම සිටු මැදුරට ද අභිවාතක නමැති එම රෝගය සෙමින් පැතිරිණි.

සිටු දෙමහල්ලෝ මරණාසන්න තත්ත්වයට ද පත් විය. එම පළාතේ පැවති එම පීඩාකාරී රෝගයෙන් මිදී ජීවත් වීමට අවශ්‍ය කෙනෙකු වේ නම් නිවසේ බිත්තියක් හාරා පලා යා යුතු ය. සිටු යුවල එම රෝගයෙන් පීඩිතව වේදනාවෙන් පසුවන අවස්ථාවේදී තම එකම පුතු මරණයෙන් බේරා ගත යුතු යැයි සිතා පුතු අමතා මෙම රෝගයෙන් මිදී ඈත පළාතකට ගොස් ජීවත් වී පසුව නැවත පැමිණ නිදන් කර ඇති මහ ධනස්කන්ධය ගෙන දිවි ගෙවන ලෙස ඉල්ලා සිටියහ. තම මව්පියන් තනිකර දමා යාමට අකැමැති වූවද, පසුව ඔවුන්ගේ කීමට එකඟ වූ කුමරා ඈත පළාතකට ගොස් එම රෝගයෙන් මිදී ජීවත් විය.

වසර ගණනකට පසුව රජගහ නුවරට කුමරු පැමිණිමුත් කිසිවකුට ඔහුව හඳුනා ගැනීමට ද නොහැකි විය. නුවණින් කල්පනා කළ සිටු කුමරා තම මව්පියන් නිදන් කළ ධනස්කන්දය සුරැකිව තිබේදැයි පරීක්‍ෂා කර බලා නිසි කාලය එනතුරු වෙනත් රැකියාවක් කළ යුතු බව තීරණය කළේ ය. කාලයත් සමග මොහුට අපූරු රැකියාවක් ලැබිණි. ගොවියන් කම්කරුවන් මෙන්ම නගරයේ ප්‍රභූ පන්තියේ සැවොමද පහන් දොර අවධි කරවීම මොහු සතු කාර්යය විය.

හිරු උදාවීමට පෙර ඉතා ශබ්ද නගා නගර වැසියන් අවධි කරවන ඝෝෂාවක් නිකුත් කරන නිසා මොහු ‘කුම්භ ඝෝෂක’ නමින් ප්‍රසිද්ධ විය. මෙසේ දින ගණනක් ගතවන කල බිම්බිසාර රජතුමා අලුයම පිබිදී සිටි මොහොතක මෙම කුම්භ ඝෝෂකගේ කටහඬ තම කන වැටී වහා සේවකයන් යවා ඔහු මාළිගාවට කැඳවාගෙන එන ලෙස අණ කරන ලදී. ශබ්ද විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති රජතුමා එම තරුණයා උසස් කුමාරයකු විය හැකි බව දැන තොරතුරු විමසා මහත් සතුටු වී ඔහු සතු සියලුම ධනය වහා මාළිගාවට ගෙන්වා සත්කාර සම්මාන සහිතව සිටුතනතුරක් ද පිරිනමන ලදී. පසුව මහරජතුමා මෙම සිටු තරණයා ද කැටුව බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට වේළුවනාරාමයට ගොස් එම සියලු පවත් පවසන ලදී.

අනතුරුව බුදුරජාණන් වහන්සේ මහරජතුමා අමතා මෙම ඝෝෂක තරුණ සිටු පුත්‍රයාගේ ජීවිතය බොහෝ ධාර්මිකය. නුවණින් යුක්තය, එපමණක් ද නොව වීර්යයෙන් ද යුක්තය. එවැනි අයගේ දිවිය ධනයෙන්, ඉසුරුමත් බවින් ප්‍රභාමත් වන්නේ ය. නොපමාව තම කීර්තිය දසත පැතිරෙන්නේ ය. යනුවෙන් පවසා ඉහත ගාථා ධර්මය දේශනා කරන ලදී.

මෙම ගාථා ධර්මයෙන් අප ජීවිතයට ගත යුතු වැදගත් කරුණු හතක් පමණ විවරණය වෙයි. ඉන් පළමු වැන්න නම් උට්ඨානවතෝ හෙවත් උත්සාහයයි. උත්සාහයෙන් ක්‍රියා කිරීමට නම් තමන් කරන කාර්යය ගැන විශ්වාසය හා ඉන් ලැබෙන ප්‍රතිඵලය ගැන මනා අවබෝධයකින් යුක්තව සිටිය යුතු ය.

අප මහ බෝසතාණන් වහන්සේ පාරමිතාවක් ලෙස නියත විවරණයේ සිට බුද්ධත්වය ලැබීම දක්වා පුරණය කළ වීර්යය පාරමිතාව හේතුවෙන් සියලුම පාරමී ධර්මයන් ක්‍රියාත්මක කිරීමේ දී පැමිණි බාධක අභිබවා ගමන් කිරීමට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනැගිණි. එම නිසා බුදු, පසේ බුදු, මහ රහත් පදවි ලබන්නට නම් තම සිත් සතන් තුළ උපදින නීවරණ ධර්මයන් යටපත් කර ධ්‍යාන විදර්ශනා වඩා මඟඵල ලැබීමට උට්ඨාන වීර්යය අවශ්‍යම අංගයකි.

දෙවන කරුණ නම් සතිමතෝ හෙවත් සිහිය පිහිටුවා ගැනීමයි. සෑම කාර්යයකදීම සිහිය අවශ්‍ය වන අතර, එම සිහිය දීර්ඝකාලීනව පවත්වා ගැනීමත්, චිත්ත සන්තානයේ ලෝභ, ද්වේෂ, මෝහාදී කෙලෙස් ධර්මයන් යටපත් කිරීමටත්, එම කෙලෙස් සිතිවිලි එකිනෙක හඳුනා ගැනීමටත්, ඒ තුළින් කමටහන් වඩා මඟ ඵල ලබා ගැනීමටත්, සතිමතෝ හෙවත් සිහිය අනිවාර්යයෙන්ම තිබිය යුතු ය.

‘සුචිකම්මස්ස’ හෙවත් කයින් වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා පිළිබඳ පිරිසුදු බව කුසලයේ දී අත්‍යවශ්‍යය. විශේෂයෙන් ලෞකික ජීවිතයෙහි සාරවත් බව රඳා පවතින්නේ මෙම කාය, වාග්, කර්මයන්ගේ පවිත්‍රතාවය මතය.

විශේෂයෙන් පස්, පව්, දස අකුසල් කෙරෙහි චිත්ත සන්තානයේ නම්‍යතාව වැඩි ය. එසේම එවන් කර්ම කිරීමෙන් ලබන සතුට නසා මොහොතින් මොහොත මිනිස් සිත නීවරණ තුළින් කිළිටි වන්නේ ය. එය මරණින් මතු සතර අපායෝත්පත්තියක් ලැබීමට හේතු කාරක වේ. එම නිසා සමථ විදර්ශනා වඩා දෙලොව සුව සලසා ගැනීමටත් කෙලවර නිවනින් සැනසෙන්නටත් පවිත්‍ර චේතනාව මූලාධාරයක් වේ.

අපි යම් කර්මයක් හෙවත් ක්‍රියාවක් කරන විට ඒ ගැන සොයා බලා නුවණින් මෙනෙහි කර කටයුතු කිරීම නිසම්මකාරිනෝ යන්නයි.සඤ්ඤතස්සච නම් සිත, කය, වචනය යන තිදොරෙ සංවර බවයි. ජීවිතයේ සාර්ථකත්වයට කය වචන දෙකේ සීල ගුණය ද මනසේ සමාධියද අත්‍යවශ්‍යය.

“ධම්මජීවිනෝ” යනු ධාර්මිකව ජීවිතය පවත්වා ගැනීමයි. බුදුදහමට අනුව පුද්ගල ජීවිතය පවත්වා ගැනීමට දැහැමින් උපයා සපයා ගත් ධනය ඉතා වැදගත් වේ. ව්‍යග්ඝ පජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය ආදී සූත්‍ර තුළින් බුදුපියාණන් වහන්සේ ඒ බව තහවුරු කර ඇත.

‘අප්ප මත්තස්ස’ යනු පමා නොවීමයි. මුලානොවී සිහියෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයා දෙලොව දියුණුව සලසා ගන්නා බවද දේශනා කර ඇති අතර, ඒ අයුරින් කටයුතු කරන පුද්ගලයාගේ යසස, කීර්තිය වර්ධනය වන බව ද මෙම ගාථා ධර්මයෙන් පැහැදිලි වේ.

මෙසේ දැක් වූ උතුම් සප්ත ගුණාංගයන්ගෙන් සම්පූර්ණ වූ පුද්ගලයාගේ භෞතික සම්පත් මෙන්ම කීර්තිය වර්ධනය වන බවත් පෙනී යයි. මෙම ධර්මය තුළින් ඔබ සැමට ජාති, ජරා මරණාදී සසර දුකින් මිදී නිවන් සුව අවබෝධ වේවා!...

(Group) http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts (Blog) http://saveourbuddhism.blogspot.com/ (e-mail) saveourbuddhism@gmail.com

Monday, November 16, 2009

යහපත් මිතුරා හා නූතන සමාජය


සමාජයේ බහුතරය ස්වාර්ථකාමීය. බොරු වෙස් මුහුණු බැඳ සමාජය රවටන්නාහු ය. අන්‍යයන් කෙරෙහි කිසිදු දයාවක්, අනුකම්පාවක්, සැලකිල්ලක්, නොදක්වන්නවුන්ය. ස්වභාව ධර්මයාගේ දායාදයක් වූ ඉර, හඳ, ජලය, වාතය, වැනි දේ පවා තමන්ට පමණක් ලැබීම ප්‍රමාණවත් යැයි සලකන පිරිසකි. මෙවැනි පරිසරයක් තුළ යහගුණ සපිරි මෙරට තරුණ පිරිසට ඇසුරු කිරීම සඳහා යහපත් කල්‍යාණ මිතුරන්ගේ බලවත් හිඟයක් පවති.

කිසිම පුද්ගලයෙකුට සමාජයේ හුදකලාව ජීවත්විය නොහැකි අතර, ස්වකීය අභිවෘද්ධිය මෙන්ම සමාජ අභිවෘද්ධිය උදෙසා, යහපත් ආශ්‍රය අවශ්‍ය වේ. එහෙත් නූතන සමාජයේ ආශ්‍රය සඳහා යහපත් මිතුරන් සොයා ගැනීම ඉතා කල්පනාකාරීව කළ යුතු වේ. විශේෂයෙන්ම මනුස්සකම, ගුණවත්කම, අධ්‍යාත්මික ගුණ වගාව, මිනිස් හදවත් තුළින් ඉවත්ව ගොස් රුපියල් ශත රජකරන යුගයක, මේ ගැන වඩ වඩාත් කල්පනාකාරීවීම අවශ්‍ය ය.

පුද්ගල අභිවෘද්ධිය මෙන්ම, සමාජ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය යහපත් ආශ්‍රය පිළිබඳ බුදු දහම තුළින් පෙන්වා දෙන උපදෙස් මාලාවක් වේ. මහා මංගල සූත්‍ර දේශනාවේ මංගල කරුණු අතුරින් මුලින්ම දක්වනු ලැබ ඇත්තේ ‘අසේවනාච බාලානංච’ නරක පුද්ගලයන් ඇසුරින් ඉවත්විය යුතු බවය. සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ දී අන්‍යොන්‍ය යුතුකම්, මිත්‍ර සම්බන්ධතා පවත්වා ගැනීම ඉතා උසස් ලෙස අවධාරණය කරනු ලැබ ඇත. එහෙත්, නූතන සමාජයේ යහපත් මිතුරන් අසුර සඳහා සොයා ගත්තේ කෙසේද? හඳුනාගත්තේ කෙසේද? යන ගැටලුව පැන නගියි. ඊට හොඳ පිළිතුරක් බුදු දහම තුළින් පෙනේ. එනම්

පියෝච ගරු භාවනීයෝ
වත්තාච වචනක්ඛඛෝ
ගම්භීරෝච කථං කත්තා
නෝවට්ඨානේ නියෝජයේ”

මෙහි දැක්වෙන අන්දමට යහපත් මිතුරකු සතු ලක්‍ෂණ හතක් වේ.

1. මනා ගතිපැවතුම් වලින් යුතු පි‍්‍රයජනක පුද්ගලයකු වීම.
2. ගරු බුහුමන් ලැබීමට සුදුස්සකු වීම.
3. වැරැදි නිවැරැදි බව මනාව පෙන්වා දෙමින් අවස්ථාවෝචිත උපදෙස් දීම.
4. මිතුරාට සාවධානව සවන් දෙන්නකුවීම.
5. ඉවසීම
6. ගැඹුරු ගැටලු පිළිබඳ මනා ලෙස කරුණු පහදා දීම.
7. අයහපත් ක්‍රියාවන්ගෙන් මිතුරා වළක්වාලීම.

නමුත්, නූතන සමාජයේ ඇසුරු කිරීම සඳහා සුදුසු ගුණාංගයන්ගෙන් සපිරි පුද්ගලයන් සෙවීම අසීරු ය. නූතනයේ බොහෝ කණ්ඩායම් තුළ, යහපත් පැවතුමෙන් යුත්, හරි වැරැද්ද පෙන්වාදීමට සමත්, සාමජයේ පිළිගැනීමට ලක් වූ, ඉවසීමේ ගුණයෙන් සපිරි පුද්ගලයන් සෙවීම ඉතා පරිස්සමින් කළ යුතුව ඇත. සමාජයේ බහුතරය ස්වාර්ථකාමීය. බොරු වෙස් මුහුණු බැඳ සමාජය රවටන්නාහු ය. අන්‍යයන් කෙරෙහි කිසිදු දයාවක්, අනුකම්පාවක්, සැලකිල්ලක්, නොදක්වන්නවුන්ය. ස්වභාව ධර්මයාගේ දායාදයක් වූ ඉර, හඳ, ජලය, වාතය, වැනි දේ පවා තමන්ට පමණක් ලැබීම ප්‍රමාණවත් යැයි සලකන පිරිසකි. මෙවැනි පරිසරයක් තුළ යහගුණ සපිරි මෙරට තරුණ පිරිසට ඇසුරු කිරීම සඳහා යහපත් කල්‍යාණ මිතුරන්ගේ බලවත් හිඟයක් වෙති.

මේ අනුව, ඇසුරට නොගතයුතු මිත්‍ර ප්‍රතිරූපකයන් සිවු දෙනෙකු පිළිබඳව සිඟාලෝවාද සූත්‍රයේ මෙසේ දක්වනු ලැබ ඇත.

1. අඤ්ඤදත්ථුහර
2. වචීපරම
3. අනුප්පියභාණී
4. අපාය සහාය යනුවෙනි.

අඤ්ඤදත්ථුහර

විවිධ ලාබ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් පැමිණෙන මිතුරන් ය. නූතන සමාජයේ මෙවැනි පුද්ගලයන් බහුලය. ඔවුන්ගේ අපේක්‍ෂාව විවිධ තනතුරු, මිල මුදල්, ඉඩකඩම් ආදී තම අවශ්‍යතා ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ඇසුර පතයි. මෙම පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා යාමේ දී විවිධ දූෂණ, දේපොළ හානි, ජීවිත හානි පවා සිදුවීමට පුළුවන. මෙවැනි මිතුරන් හා සබඳකම් පැවැත්වීම මගින් තමාද අනාරක්‍ෂිත තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකි ය. පුද්ගල හා සමාජ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම්,මෙසේ ලාභ අපේක්‍ෂාවෙන් ඇසුර පතන්නන්, දුරු කොට, හුදකලාව වුව ජීවත්වීම යහපත්වේ.

වචීපරම

මෙම ගණයට අයත් වන මිතුරන් ඕනෑම කටයුත්තකදී වචනයෙන් පමණක් සුහදව සංග්‍රහ කෙරේ. තම මිතුරා වෙනුවෙන් යම් අවස්ථාවක් උදා වූ විට හොඳයි සලකා බලන්නම් කිසි දේකට බියවන්න එපා. ඕනෑම දේකට මම ඉන්නවා. ආදී වශයෙන් පවා රැවටීමට සලස්වයි. ලාබ ප්‍රයෝජනයක් අත්වුවහොත් ඉන් උපරිම ඵල විඳ සතුටට පත් වෙයි. වචී පරම ගණයට අයත් වන මිතුරන් එදා මෙන්ම අද සමාජයේ ද බහුල වශයෙන් දැකිය හැකි ය. මෙවැනි මිතුරන් ඇසුරින් දුරුකිරීම බුද්ධිමතාගේ ලක්‍ෂණයකි.

අනුප්පියභාණී

මිතුරා කරන හොඳ දේවල් මෙන්ම නරක දේවල් ද අනුමත කිරීම අනුප්පියභාණිගේ ස්වභාවයයි. එය යහපත් කල්‍යාණ මිත්‍රයකුගේ ලක්‍ෂණයක් නොවේ. නිරතුරුවම සමජයට අවශ්‍ය වන්නේ හොඳ දේ අගය කරමින් ඒ අනුව ඹ්වත්වන මිනිසුන් ය. නූතන සමාජයේ බහුතරය අවංක මිතුරන් යැයි විශ්වාස කොට කරන හොඳ දේ මෙන්ම නරක දේවල් ද වේ. මින් නරක දේ අනුමත කිරීම තුළින් තමා හොඳ වූවත් එය පිරිහීමට ලක්වනු ඇත. අනුප්පියභාණි මිතුරන් ඇසුරින් දුරුකොට හුදකලාව ජීවත්වීම වුව යහපත් වේ.

අපාය සහායක

මිතුරු වෙසින් සිට මෙලොව පරිහානිය මෙන්ම පරලොව පරිහානිය උදාකරවන පුද්ගලයා අපාය සහායක ගණයට වැටේ. මත්කුඩු, සුරාව, සූදුව, පරස්ත්‍රී සේවනය ආදී දුසිරිත්වල යෙදෙන හෝ තම මිතුරා ද ඊට යොමු කරවයි. පොළඹවයි. නොදැනුවත්වම මෙයින් සිදුවන්නේ මහා විපතකි. සමස්ත ජීවිතයම අඳුරට හෙළා දැමීමකි. එබැවින් අපාය සහායක මිතුරු, මිතුරියන්ගෙන් වෙන්ව ජීවත්වීම යහපත් වේ.

මෙසේ ඇසුරින් වෙන් කළ යුතු, මිතුරු වේශයෙන් පෙනී සිටින මිත්‍ර ප්‍රතිරූපකයත් පිළිබඳ මනා පැහැදිලි කිරීමක් කරන, සිඟාලෝවාද සූත්‍ර දේශනාව, ඇසුරට සුදුසු යහපත්, කල්‍යාණ මිතුරන් සිවු දෙනෙකු, පෙන්වා දෙනු ලැබ ඇත.

1. උදව් උපකාර කරන උපකාරක මිත්‍රයා 2. දුක සැප දෙකේදීම කිසිදු වෙනසක් නොමැතිව එක්ව සිටින සමාන සුඛ දුක්ඛ මිත්‍රයා 3. දියුණුවට අත හිත දෙනා අත්ථක්ඛායි මිත්‍රයා 4. කරුණාවන්තව හා අනුකම්පාවෙන් ක්‍රියා කරන අනුකම්පක මිත්‍රයා යනුවෙනි. මෙකී, කල්‍යාණ මිතුරන් හතර දෙනා මැනවින් අවබෝධ කර ගෙන, ඇසුරට ගැනීම කළ යුත්තේ, සෙනෙහෙබර අම්මා කෙනෙකු ළයෙන් දරු සෙනෙහසින්, තම පුත්‍රයා රැක බලා අන්දමට බවට වදාළ සේක.

එතෙපි මිත්තෙ චත්තාරො
ඉති විඤ්ඤාය පණ්ඩිතො
සක්කච්චං පයිරුපාසෙය්‍ය
මාතා පුත්තංච ධරසං

මේ අන්දමට ඇසුරු නොකළ යුතු පාපකාරී මිත්‍ර ප්‍රතිරූපයන් ඇසුරෙන් බැහැර කර යහපත් කල්‍යාණ මිත්‍රයන් පමණක් ඇසුරු කිරීම ප්‍රඥාවන්තයාගේ ස්වභාවයයි. කල්‍යාණ මිත්‍රයන් ඇසුරට ලැබීම මහා පිනකි. මහා භාග්‍යයකි. මහා සම්පතකි. බුදු දහම පිළිනොපදින ජීවිත පරිඥානය, අඩු, බොහෝ තරුණ තරුණියන් පාපකාරී මිත්‍ර ප්‍රතිරූපකයන් ඇසුරට පත්වීම නිසා, ජීවිත විනාශ කර ගත් අවස්ථා වර්තමානයේ සුලභව දක්නට ලැබේ. බන්ධනාගාරගතව සිටින රැඳවියන් පිළිබඳව කළ සමීක්‍ෂණයන්ගෙන් හෙළි වී ඇත්තේ, ඔවුන්ට එම තත්ත්වය අත් වූයේ පාප මිත්‍ර සේවනය නිසා බවය.

මානව පරිණාමයේ අතීත යුගයේ සිටම මිනිසා සමූහ වශයෙන් ජීවත් වූ බව පෙනේ. එය අතීතයට මෙන්ම වර්තමානයට ද පොදු ය. ඒ අනුව මිනිසාට කල්‍යාණ මිත්‍ර සේවනය ලැබීම අත්‍යවශ්‍ය වේ. මීට ඇති හොඳම විසඳුම වන්නේ අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරි සමාජයක් ගෙැඩනැඟීමය.එය එක් රැයක් පහන් වෙද්දී කළ හැකි හාස්කමක් නොවේ. මෙය සමාජයේ වැඩිහිටි සෑමදෙනා විසින්ම ප්‍රත්‍යක්‍ෂව අවබෝධ කර ගත යුතු ය. තම දූ දරු සහෝදර සහෝදරියන්ට යහපත් මිනිසුන් ඇසුරු කිරිමට අත්‍යවශ්‍ය නිසා සැම දෙනාම එක්ව, අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරුණු, යහපත් සමාජයක් බිහිකිරීම සඳහා අත්වැල් බැඳ ගත යුතු ය. මේ සඳහා ගරුතර මහා සංඝරත්නය, පූජක පක්‍ෂය, උගතුන්, බුද්ධිමතුන්, සමාජ සේවකයන් මූලික වීම අත්‍යවශ්‍ය වේ.

“න භජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තෙ කල්‍යාණේ
භපේථ පුරිසුත්තමෙ (ධම්මපදය)

(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts


(Blog)
http://saveourbuddhism.blogspot.com/


(e-mail)
saveourbuddhism@gmail.com

Friday, November 13, 2009

මිනිසත් බව දුබලය


උසස් මිනිසෙකුවීමට ඇති කරගත යුතු ගුණාංග බොහොමයි. එයින් ප්‍රධානම ගුණාංග තමයි ලෝක පාලක ධර්ම යනුවෙන් සඳහන් කරන ‘හිරි ඔතප්’ (ලැජ්ජා භය) දෙක .එයින් තොර මිනිසාගෙන් පලක් නෑ. එසේ නොවුවහොත් කොපමණ වටිනා ජීවිතයක් ලැබුණත් ඔහුට ලෞකික ලෝකෝත්තර වශයෙන් ලැබිය යුතු මොනම ඵලයක්වත් ලබාගත නොහැකිව අන්ධකාර ලෝකයක ගමන් කරන්නට සිදු වනවා.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
කිචෙඡා මනුස්ස පටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිචෙඡා බුද්ධානං උප්පාදොති

පින්වත්නි,

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ඒරතපන්න නාගරාජයා අරභයා දේශනා කරන ලද ගාථා ධර්මයකි ඉහත සඳහන් කෙළේ. එහි සරල අදහස නම් ‘මිනිසෙකුව ඉපදීමත්, මිනිස් ජීවිතයක් මනාව පාලනය කිරීමත්, බණ අහන්න ලැබීමත් ලොවුතුරා බුදුවරයකුගේ ඉපදීමත් යන කරුණු සතර ලෝකයෙහි ඉතාම දුර්ලභ අමාරු කලාතුරකින් සිදුවෙන දේවල් යන බවයි.’ පින්වත! මිනිස් ජීවිතයක් ලබා ගැනීම ඉතාම අපහසු කාරණාවක්. එය කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවාටත් වඩා අපහසුයි.

අප එම අපහසු, දුර්ලභ කරුණු ඉටුකරගෙන හමාරයි. ඔබ සහ මම මේ ගෞතම සම්බුදු සසුන පවතින යුගයක මිනිසුන්ව ඉපදීමත්, සියලු ඉන්ද්‍රිය ඇතිව ඉපදීමත්, එයටත් වැඩිය දුර්ලභයි. එය සම්පත්තියක්. එයට කියන්නේ ‘ක්‍ෂණ සම්පත්තිය’ කියලයි. බුදු වීමට, පසේ බුදුවීමට, රහත්වීමට පළමුව මිනිස් බවක් ලබා ගත යුතුමයි. එම දුර්ලභ කරුණු අප ඉටුකරගෙන හමාරයි. එය රැක ගැනීම මගෙත් ඔබගෙත් වගකීමක් බව නිතර සිතන්න.

ලෝකයෙහි පහළවන සත්වයන් අතුරෙන් මිනිසා උසස්කොට සැලකිය යුතු යි. උසස් නිර්මාණශීලී මනසක් ඇත්තේ මිනිසාට පමණයි. මිනිස් ජීවිතය පහත් තත්ත්වයට ඇද වැටෙන්න දෙන්න හොඳ නැහැ. එසේ වුවහොත් ඔහු පහත් මිනිසකු වෙනවාමයි. මිනිස්කම රැක ගැනීම ඔබගේ පරම වගකීමක්. උසස් මිනිසෙකුවීමට ඇති කරගත යුතු ගුණාංග බොහොමයි. එයින් ප්‍රධානම ගුණාංග තමයි ලෝක පාලක ධර්ම යනුවෙන් සඳහන් කරන ‘හිරි ඔතප්’ (ලැජ්ජාභය) දෙක තිබිය යුතු යි.

එයින් තොර මිනිසාගෙන් පලක් නෑ. එසේ නොවුවහොත් කොපමණ වටිනා ජීවිතයක් ලැබුණත් ඔහුට ලෞකික ලෝකෝත්තර වශයෙන් ලැබිය යුතු මොනම ඵලයක්වත් ලබාගත නොහැකිව අන්ධකාර ලෝකයක ගමන් කරන්නට සිදු වනවා. යමෙකුට පුණ්‍ය සම්පත්තිය තිබේනම් ඔහුට පී‍්‍රතිමත් ජීවිතයක් ගත කරන්නට අවකාශ තිබෙනව. පැවිදි, ගිහි, ස්ත්‍රී, පුරුෂ, දේව, බ්‍රහ්ම ආදීන්ට පමණක් නොව, තිරිසන් ආත්මයක ඉපදුණත් පින අවශ්‍ය බව පෙනේ. බොහෝ සැප විඳින තිරිසන් සතුන් සිටින බවද ඔබට දැකිය හැකි ය.

පෙර ජාතිවල කරන ලද දානාදි පින්කම් වල ප්‍රතිඵලයක් ලෙස රූප සම්පත්තියෙන් හා පරිවාර සම්පත් සහිතව දෙවියන් වුවත් මනුස්සයෙකුව වුවත් ඉපදී සැප විඳිනවා. පින් කළ මවුපියන් කී දෙය කරන, තමන් දුර්වල කාලයේ දී කෑම් බීම් ආදිය සපයාදී පෝෂ්‍ය කරන පාරම්පරික සිරිත් කඩ නොකරන ආගම දහම කෙරෙහි ශ්‍රද්ධාව ඇති පන්සිල් රකින ලෝකයාගෙන් ප්‍රසංසා ලබන යහපත් දරුවො ලබා පී‍්‍රතිමත් වන බව දහමේ දැක්වේ. ඒ බව ලෝකය දෙස බැලීමෙන් ඔබට දැනගත හැකි වන වා ඇත. කරුණු මෙසේ හෙයින් පින නොපමාව කර ගන්නා ලෙස ඔබට සිහිගන්වමි. පින කාටත් උපකාර වන දෙයක් බව සලකා දෙලොව දියුණුව ඇතිකර ගැනීමට උත්සාහවන්ත වන්න.

ඔබ පුරුෂයකු හෝ ස්ත්‍රියක වුවත් එය ජීවිතයට බාධාවක් නොවේ. ඉතා සතුටින් යුක්තව කටයුතු කිරීමට උත්සාහවන්ත වන ලෙස කාරුණිකව සිහිගන්වමි. ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් සැමට සෙත සැලසේවා.!


(Group) http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts (Blog) http://saveourbuddhism.blogspot.com/ (e-mail) saveourbuddhism@gmail.com

Monday, November 9, 2009

භව දුක බිහි කරන උපාදානය


භවය තුළ සිටින සත්ත්වයාගේ ස්වභාවය නම්, භවය තුළ යථොක්ත ආදීනව විඳිමින් භවයටම ඇලුම් කිරීමයි. අරියපරියෙසන සූත්‍රයෙහි මෙය බුදුන් වහන්සේ පැහැදිලි කළහ. ජාතිය ජරාව මරණය ස්වභාව කොට ඇති සත්වයා ජාති ,ජරාව හා මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන බවත් මෙය අනාර්ය පර්යේෂණයක් බවත් ,එහි පෙන්වා දී ඇත. මේ නිසා ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතා සෙවීම ආර්ය පර්යේෂණයකි.

බු දුරජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පාද දේශනාවට අනුව භවයක් ලැබීමට හේතු වන ප්‍රධානතම කරුණ උපාදානය බව ‘උපාදාන පච්චයා භවො’ යනුවෙන් සූත්‍ර දේශනාවල දැක්වේ. මෙහි ‘උපාදානය’ යනු, දැඩිව අල්ලා ගැනීම යි. කවරක් දැඩිව ගනී ද යන්න විග්‍රහ කිරීම සඳහා උපාදාන හතරක් දක්වා ඇත. 1. කාම උපාදානය, 2. දිට්ඨි උපාදානය, 3. සීලබ්බත උපාදානය, 4. අත්තවාද උපාදානය යනුවෙනි. රන්, රිදී, මුතු, මැණික්, පුත්‍ර, දාරාදී කාම වස්තුන් මාහැඟි වස්තුන් ලෙස දැඩිව සිතින් අල්වා ගැනීම, කාම භවයක් ලැබීමට හේතුවෙයි. එකී කාම වස්තුන් භුක්ති විඳීමේ ආශාවෙන් අකුසල කර්ම කරන අය අපායෙහි උපදිති. එසේම එකී කාම වස්තූන් පතා පින් කරන අය මනුෂ්‍ය හා දිව්‍ය ලෝකවල උපත ලබති. රූපාවචර ධ්‍යාන වඩා එකඟ වූ සිත් ඇති ඇතැම්හු මිනිස් ඇස ඉක්ම වූ දිව්‍ය චක්‍ෂුසය උපදවා අතීතයෙහි ආත්මභාව හතළිස් දහසක් පමණ ද අනාගතයෙහි ආත්ම හතළිස් දහසක් පමණ ද දකිති. මෙසේ දකින ඔවුහු ලෝකය ශාස්වත හෙවත් සදාකාලික බව සිතා එයම දැඩි කොට ගනිති. මෙය වූ කලී මිථ්‍යා දෘෂ්ටියකි. එම මිථ්‍යා දෘෂ්ටියෙන් යුතු වූවෝ දුන් දෙයෙහි විපාක නැත. යනාදී වශයෙන් සිතා කරනු ලබන කර්ම අනුව භවයක් ලැබේ. මෙය දෘෂ්ටි උපාදානය යි. මෙයින් ශුද්ධිය වේ යැයි සිතා, ශීල ව්‍රත, ගෝ ව්‍රත අජ ව්‍රත ආදිය අනුගමනය කිරීම, සීලබ්බත උපාදාන නම් වෙයි. එකී ව්‍රත අනුගමනය කිරීමෙන් මේ ලෝකයෙහි හෝ වෙනත් රූප හෝ අරූප භවයක සැප ලැබේ යැයි සිතා කර්ම කිරීමෙන් ලබන භවය කර්ම භවය යි. එයින් ලබන උපත භව උප්පත්තියයි. රූපය ආත්මය ආදී වශයෙන් විසි වැදෑරුම් ලෙස ගැනීම නැතහොත් සත්ත්වයා මියයන විට පරලොව ඉපදීමට යන ආත්මයක් ඇත යන ආදී වශයෙන් ආත්ම සංකල්පයක් දැඩිව සිතින් අල්වා ගැනීම, අත්තවාද උපාදනයයි. මේ නිසා මෙකී උපාදානය හෙවත් දැඩිව සිතින් අල්වා ගැනීම නිසා කර්මානුරූප ලෙස සත්ත්වයාට ඉහත විස්තර කළ පරිදි වූ භවයක් හිමි වෙයි.

දීඝ නිකායේ මහානිදාන සූත්‍රය බුදුදහමේ වැදගත්ම සූත්‍රයක් ලෙස සැලකෙයි. එම සූත්‍රයෙහි බුදුන් වහන්සේ මෙසේ වදාරා ඇත. ‘ආනන්දය, එහෙයින් යම් මේ උපාදානයක් වේ ද, මෙයම භවයට හේතුව ය. මෙයම නිදානය ය, මෙයම සමුදය ය, මෙයම ප්‍රත්‍යය (තස්මාතිහානන්ද, එසෙව හෙතු, එතං නිදානං එස සමුදයො එස පච්චයො භවස්ස, යදිදං උපාදානං) මේ නිසා උපාදාන නැති කිරීමෙන්ම භව නිරෝධය කළ යුතු වෙයි. උපාදානය නැති කිරීමට නම් රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, ස්පර්ශ තෘෂ්ණාව හා ධර්ම තෘෂ්ණාව නැති කිරීම අවශ්‍ය ය. මෙසේ හේතුඵල න්‍යාය අනුව කල්පනා කිරීමේදී දුක නැති කිරීමේ ක්‍රමවේදය සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතු වෙයි.

මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයකින් ද භව සංකල්පය පිළිබඳ හැදෑරීමක් කළ හැකි ය. එනම් බුද්ධ දේශනාවල බොහෝ තැන්වල දක්නට ලැබෙන ‘එතං මෙ එසො හමස්මි එසො මෙ අත්තා’ යන ප්‍රකාශය අනුව සිතීමෙනි. මෙහි තේරුම වන්නේ මෙය මගේ ය. මේ මම වෙමි, මේ මගේ ආත්මය’ යන්න යි. මෙම පද පිළිවෙළ ත්‍රිපිටකයේ කිසිදු තැනක වෙනස් නොවෙයි. ඒ අනුව සත්වයකුගේ චින්තන රටාව තුළ මුලින්ම ඇතිවන්නේ මගේ යන සංකල්පනාව යි. උපාදානය යනු ද, මගේ් යන හැඟීමයි. තෘෂ්ණාව ඇති කවර කෙනකුට හෝ මගේ යන ආකල්පයෙන් බැහැර විය නො හැකි ය. මගේ අත, මගේ පය, මගේ් මුහුණ, මගේ බිරිය, මගේ පුතා, මගේ රැකියාව, මගේ තත්ත්වය, මගේ ගෞරවය යනාදී මෙම සංකල්ප, තෘෂ්ණාවේ ඵලය. මගේ යන සංකල්පය තහවුරු වූ තරමට ‘මම’ යන හැඟීම තීව්‍ර වේ. තවත් විධියකින් කිවහොත් මගේ යන හැඟීමෙන් දැඩිව අල්ලා ගත් දේ ශක්තිමත් ලෙස පවතින විට ‘මම’ වශයෙන් සමාජය ඉදිරියේ පෙනී සිටීමට උත්තේජනයක් ඇති වෙයි. මෙය තමා විසින්ම කරන ලද්දක් ලෙසයි බාලයා සිතන බවත්, එහෙයින්ම ඔහුගේ ඉච්ඡාව හා මානය වැඩෙන බවත් ධර්මයෙහි සඳහන් වේ. අනෙක් අතින් කෙනෙකුට මගේ යැයි ගතයුතු යමක් නැති කල්හි මම කුමට ද? යන හැඟීම උපදී. නිදසුනක් ලෙස සුනාමිය වැනි උපද්‍රවයක් හෝ නාය යාමක් සුළි සුළඟක් වැනි ස්වභාවික උපද්‍රවයක් නිසා ගේ දොර දූ දරු ආදී මගේ යැයි ගතයුතු වූ වස්තු අහිමි වූ පුද්ගලයකු ගැන සිතමු. එබඳු අත්දැකීමකට මුහුණ පෑ පුද්ගලයකුට මම යන හැඟීමෙහි සාරවත් බවක් නො පෙනෙයි. මම වශයෙන් ගත හැකි යමක් නැති බව වැටහෙයි. මේ පිළිබඳ ඉතා පැහැදිලි හා වටිනා විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයෙහි දක්නා ලැබේ. එම සූත්‍රයෙහි බුදුන් වහන්සේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් හා හිස අත් බැඳ හැඬීම් වැළපීම් ආදිය මගේ යැයි ගැනීම නිසා ඇතිවන බව වදාරති. එසේ නො වන උපාදානයක් ලෝකයෙහි ඇත්නම් එය ගැනීමට උපදෙස් දෙන උන්වහන්සේ, එනමුත් එබඳු උපාදානයක් ලෝකයෙහි විද්‍යමාන නොවන බව පෙන්වා දෙති. එබැවින් යමක් මගේ් යැයි ගැනීම උපාදානය ලෙසත් එයින් ශක්තිමත් වන මම යන හැඟීම භවය ලෙසත් අර්ථකථනය කළ හැකි ය. මම යන හැගීම තහවුරු වූ විට ආත්මීය වශයෙන් ගැනීමේ උත්තේජනය ඇති වෙයි. එබඳු තැනැත්තා භවයෙන් නිදහස් නොවෙයි. ‘දීඝරත්තං හෙතෙ භික්ඛවෙ අස්සුතවතො පුථුජ්ජනස්ස අජ්ෙක්‍ධාසිතං මමායිතං පරාමට්ඨං - එතං මම එසො හමස්මි එසො මෙ අත්තාති තස්මා

තත්‍රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං’ යනුවෙන් අශ්‍රැතවත් පෘථග්ජනයා මෙය මගේය. මේ මම වෙමි, මේ මගේ ආත්මය යැයි බැසගන්නා ලද මමායනය කරන ලද පරාමර්ශනය කිරීමක් ඇති හෙයින් ඔහු සංස්කාර කෙරේ කළකිරීමට, එහි නො ඇලීමට හා ඉන් නිදහස් වීමට නුසුදුසු බව දක්වා ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුදු බව පසක් කිරීමත් සමගම වයස අවුරුදු තිස් පහේදී තමන් වහන්සේ ජාතිය, ජරාව, මරණය හා පුනර්භවය නැති කළ බව ප්‍රකාශ කළේ, මෙම මගේ් යන සංකල්පයත් මම යන හැඟීමත් දුරුකළ හෙයිනි. එහෙයින්ම උන්වහන්සේ ආත්මීය වශයෙන් ගත හැකි ස්වල්ප මාත්‍ර වූ ද දෙයක් ලෝකය තුළ විද්‍යමාන නො වන බවද වදාළහ. සාමාන්‍ය මිනිසෙක් තමා අවට දේ ආත්මීය වශයෙන් ග්‍රහණය කරන්නේ මම යන සංකල්පය ඔහු තුළ තහවුරු වී ඇති හෙයිනි.

භවය තුළ සිටින සත්ත්වයාගේ ස්වභාවය නම්, භවය තුළ යථොක්ත ආදීනව විඳිමින් භවයටම ඇලුම් කිරීමයි. අරියපරියෙසන සූත්‍රයෙහි මෙය බුදුන් වහන්සේ පැහැදිලි කළහ. ජාතිය ජරාව මරණය ස්වභාව කොට ඇති සත්වයා ජාති ,ජරාව හා මරණය ස්වභාව කොට ඇත්තක්ම සොයන බවත් මෙය අනාර්ය පර්යේෂණයක් බවත් ,එහි පෙන්වා දී ඇත. මේ නිසා ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතා සෙවීම ආර්ය පර්යේෂණයකි.

දුක නැති කිරීම සියලු සත්ත්වයන්ගේ අපේක්ෂාවයි. ඒ සඳහා භවය නැති කිරීමත් භවය නැති කිරීම සඳහා මගේ් යැයි දැඩි ලෙස ගැනීම නම් වන උපාදානය දුරු කිරීමත් කළ යුතු වේ.

මෙසේ හෙයින් භවය වූ කලී, දුක විඳීම ය, සැකසුණු නවා තැනක් වැනිය. අපාය මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක යනාදිය අබලන් වූ හා මනරම් ලෙස ඉදි කරන ලද නවාතැන් වැනි ය. බාහිර ආකෘතිය කෙසේ වෙතත් මේ සියල්ලම සැකසී ඇත්තේ දුක් දොම්නස හඬා වැළපීම සඳහාම වේ. එහෙයින් භවයට ඇලුම් කිරීම වූ කලී මායාවකට හසුවීමකි. භවයක් කෙරේ ඇල්මෙන් කුසල් හෝ අකුසල් සිදු කිරීම මුග්ධ ක්‍රියාවකි. බුදු දහමේ භවය හඳුන්වන්නේ, භව චක්‍රය නමිනි. ඊට හේතුව, එය හුදු තනි ඒකකයක් නොවීමයි.

පටිච්ච සමුප්පාද න්‍යායෙන් හෙළි පෙහෙළි කොට ඇත්තේ මෙම චක්‍රය සැකසී ඇති ආකාරයයි. ඉපදීමෙන් වන දුක නැති කිරීමට භවය නැති කළ යුතු ය. භවය නැති කිරීමට මගේ යැයි ගැනීම අත්හළ යුතුය. මගේ යැයි ගැනීම නැති කිරීමට තෘෂ්ණාව නැති කළ යුතුය. තෘෂ්ණාව නැති කිරීමට වේදනා නැති කළ යුතුය. මේ ආදී වශයෙන් ප්‍රතිලෝම නයින්, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණ, සංස්කාර, අවිද්‍යාව යනාදිය නැතිකළ යුතු වෙයි. මෙම භව චක්‍රයෙහි අග මුල කොතැනක දැ යි නිශ්චය කළ නො හැකි ය. කවර හෝ තැනකින් මෙම චක්‍රය කැඩිය යුතුය. එකල්හි යථාර්ථමය වශයෙන් දුක නැති කළ හැකි ය. එය භව නිරෝධය යි. දුක්ඛ නිරෝධය යි.

(Group) http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts (Blog) http://saveourbuddhism.blogspot.com/ (e-mail) saveourbuddhism@gmail.com

Thursday, November 5, 2009

නිවන් දකින්නට මොනවද බාධා


මිනිසා හැර අන් සියලු සත්ත්වයෝම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම මගින් සෑහීමට පත් වෙති. එහෙයින් කාමභෝගී ජීවිතය තුළ වූවද ඔවුන්ගේ අසහනය හා අතෘප්තිය අවම වෙයි. මිනිසා තුළ පවතින තරගකාරී, අනුකරණවාදී අතෘප්තිමය අසහන රැල්ල, සමස්ත ජන සමාජයටම සිදු කර ඇත්තේ, බරපතල විනාශයකි.

සංසාර විමුක්තියට බාධා කරන ධර්ම පහක් බුදුපියාණන් වහන්සේ හඳුන්වා දී තිබෙනවා. ඒවා පංච නීවරණ හැටියටයි හඳුන්වන්නේ. ‘නී’ යනු නිවනයි. ආවරණය යනු බාධා කිරීම යි. නැතහොත් වසා තැබීම යි. නිවන යනුවෙන් අර්ථ දක්වා ඇත්තේ, ‘වාන’ නම් වූ තෘෂ්ණාවෙන් නික්මීම යි. තමන්ගේ පරමාර්ථ හා අරමුණු සියල්ල නිවන කේන්ද්‍ර කොටගෙන පවතින්නේ යැයි යමෙක් ප්‍රකාශ කරන්නේ නම්, ඔහු බෞද්ධයෙකි. මේ සදාචාර සම්පන්න බුද්ධි සන්ධානය තුළ අනිවාර්යයෙන්ම අත්හළ යුතු සතුරු සංකල්ප පහක් ලෙස, නීවරණ ධර්ම සැලකිය හැකි ය.

කාමච්ඡන්ද

කාමච්ඡන්ද මෙයින් අදහස් කැරෙන්නේ අසීමිත ආශාවයි. ජීවත්වීම සඳහා වුවමනා කරන මූලික ප්‍රත්‍ය කිහිපයක් ඇත. ඇඳුම්, ආහාර පාන, නිවාස, ඖෂධ යනු ඒවා ය. මීට අමතරව අධ්‍යාපන, සන්නිවේදන, ගමනාගමන ආදී අවශ්‍යතා ද ඇත. එම මූලික අවශ්‍යතා මට්ටම ඉක්මවා ගිය අසීමිත ආශා රැසකින් මිනිසා පීඩා විඳියි. කාම යනු කැමැත්ත යි. කැමති දේ නොලැබීම දුකක් ලෙස ද හඳුන්වා ඇත. (යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං) කැමැති දේ ලබා ගන්නා ඉඳුරන් පහකි. (චක්ඛු, සොත, ඝාණ, ජීව්හා, කාය) ඇස, කන, නාසය, දිව, ශරීරය වශයෙනි. මෙම ඉන්ද්‍රිය පංචකයට අරමුණු වන්නා වූ පංච කාම (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) සත්වයා සසර බැඳ තබන රසාලිප්ත තෝතැන්න යි. මෙම පස්කම් සැපතට දැඩි ලෙස ගිජුවීම, කාමච්ඡන්දය ලෙස සැළකෙයි. කාමසුඛල්ලිකානු යෝගය ලෙස, නිවන ලැබිය නොහැකි අන්තගාමී ප්‍රතිපදාවක් ලෙස ද හඳුන්වා ඇත්තේ, මෙම පිළිවෙත යි. මෙලොව ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය; මූලික අවශ්‍යතා සියල්ල සපුරා ගැනීමට විශ්වය හා මිනිසා අතර පවතින සම්බන්ධතාව තේරුම් ගැනීම ප්‍රමාණවත් ය. මිනිසා හැර අන් සියලු සත්ත්වයෝම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම මගින් සෑහීමට පත් වෙති. එහෙයින් කාමභෝගී ජීවිතය තුළ වූවද ඔවුන්ගේ අසහනය හා අතෘප්තිය අවම වෙයි. මිනිසා තුළ පවතින තරගකාරී, අනුකරණවාදී අතෘප්තිමය අසහන රැල්ල, සමස්ත ජන සමාජයටම සිදු කර ඇත්තේ, බරපතල විනාශයකි. අප්පිච්ඡතා හෙවත් කැමැතිකම් අඩුවීමෙන්, ලද්දා වූ ස්වල්පයකින් හෝ සතුටක් ගොඩ නඟා ගැනීමේ හැකියාව සන්තුට්ඨි අතින් වත්මන් මිනිසා දුබල ය. ඉන්ද්‍රිය ගෝචර වන සියලු සුන්දර දෑ තමන් සතු කර ගැනීමේ ප්‍රබල සටනක යෙදී සිටින මිනිසා, ඊට ප්‍රතිවිරුද්ධ සියලු බලවේග හා අභියෝග සමග සටන් කරයි. ගැටුම්කාරී මේ තරගය සමස්ත ජන සමාජය කෙරෙහි බලපෑම් ඇති කරයි. සුඛෝපභෝගී ජන රැල්ලට හසු වී කාම වස්තු පසුපස හඹා යන මිනිස් සිතට, ජීවිතය විඳින්නට, ලෝකය දකින්නට කාලය හරස් වෙයි. පලතුරකින්, මල් පැණි බිඳකින් හෝ වෙනත් ගොදුරකින් කුස පුරවාගෙන අත්තක වාඩිවී තම පි‍්‍රයාවිය හා පෙමින් බැඳී ගීතයක් ගයන පුංචි කුරුල්ලකුට තරම්වත් ලෝකය විඳින්නට විවේකයක්, මේ කාමභෝගී ධාවනය තුළ මිනිසාට නැති තරම් ය. කාමච්ඡන්දය ඒ තරමටම, නිවී සැනසිල්ලේ දිවි ගෙවීමට බාධා කරයි.

ව්‍යාපාදය

සිත කෝප කිරීම, ව්‍යාපාදයයි. සිතට මෙම සිතිවිල්ල ඇතුළු වූ වහාම දැවීම ඇති කරවයි. දැවෙන සිත රෝගී සිතකි. එය උමතුවීමක් යැයි පැවසීම වරදක් නොවේ. සිත කෝපවීම පුහුදුන් ස්වභාවයක් වූවද, බුද්ධියට තැන දෙන පුද්ගලයා තුළ කෝපයට වැඩි ආයුෂක් නැත. හැඟීමට වහල් වු පුද්ගලයා සිතට ව්‍යාපාදය පැමිණිවිට උමතුවෙන් ක්‍රියා කරයි. නිවනට බාධා කරන ස්වභාවය ව්‍යාපාදය තුළ ඇත. ලෝකෝත්තර වීමට පමණක් නොව ලෞකික වශයෙන් හෝ නිවීමක් එයින් බලාපොරොත්තු විය නොහැකි ය.

ථීන මිද්ධ

ථීන යනු සිතේ කම්මැළි කමයි. මිද්ධ යනු සිතිවිලි කම්මැලිවීමයි. පොදුවේ විමසන විට මෙම නීවරණයේ අදහස මැළි බවයි. සසරින් මිදීමේ විමුක්ති මාවත බොහෝ උත්සාහයෙන් ගොඩ නඟාගත යුතු එකකි. ඒ සඳහා පිරිය යුතු පිළිවෙත් බොහෝ ය. කම්මැළි පුද්ගලයා යම් වැඩ පිළිවෙළක කෙළවර දක්වා ගමන් කරන්නේ නැත. උදාසීන අලස මනස සැනසීමට වඩා ලබා දෙන්නේ, වැනසීමයි.

උද්ධච්ඡ කුක්කුච්ච

උද්ධච්ඡ යනු සිතේ නොසන්සුන් කම යි. හෙවත් අසංවරකම යි. කුක්කුච්ච යන්නෙන් අදහස් කරන්නේ පසු තැවීමයි. මෙය චෛතසික දෙකකි. අකුසල පක්‍ෂයේ චෛතසික දෙකක් වන මෙම සිතිවිලි නිවන ආවරණය කිරීම සඳහා එක්ව ක්‍රියා කරයි. නොසන්සුන් කම හා පසුතැවීම දුරු කරගත හැකි ක්‍රමය සීල යි. සිල්වතාගේ සිත, සංවරය , එම සංවරය, පසුතැවීමට හේතු ඇති නොකර යි.

තුන් දොර (සිත කය වචනය ) සංවර කරගැනීමට සමත් පුද්ගලයා, වැරදි ක්‍රියාමාර්ග අතහැර දමයි. එම ජීවිතය නිරවද්‍ය ජීවිතයක් ලෙස සැළකෙයි. එවිට ඔහුට සුවයක් දැනෙයි. (අනවජ්ජ සුඛ) ඒ සුවය, නිවනට මාවත යි.

සංවර සිතකට පශ්චාත්තාපයට හෙවත් පසු තැවීමට හේතුවක් නැත.

පුහුදුන් සිතට නිතර වැරැදි චේතනා පහළ වෙයි. පුහුදුන් සත්වයා අතින් වැරැදි සිදුවෙයි. වැරැදි සිදු වූ තරමට ඒවා මෙනෙහි කරමින් පසුගාමි විය යුතු නැත. සිදුවන වැරැදි පිළිබඳ අවබෝධ කරගනිමින් ඒවා ජීවිතයට ඉගැනීමක් කරගත යුතුය. පියුමක් පරවී වැටුණු විට මඩදියට එකතු වී නෙලුම් පඳුරටම පොහොර වෙයි. ඉන් අලුත් මලකට පොහොරක් ලැබෙයි. මේ ලෙස වැරදුණු තැන් ජීවිතයට පාඩමක් කර ගැනීමෙන්, අලුත් මගක යා හැකි ය.

විචිකිච්ඡා

විචිකිච්ඡා යන්නෙන් සැකය අදහස් කැරෙයි. සැක කිරීම හොඳ ප්‍රවේශයකි. නමුත් ඉන් ප්‍රත්‍යක්‍ෂය ලබා ගැනීම තෙක් එය ඉදිරියට යා යුතුය. ඇතැම් අය සැකය තුළ සදාකල් රැඳී සිටීමට පි‍්‍රය වෙති. රසවත් යම් යම් සිද්ධාන්ත මනසට ඇතුළත් කරගෙන රස විඳිමින් සිටින අනුවණයෝ ප්‍රත්‍යක්‍ෂය කරා යෑමට උත්සුක නොවෙති. නිවන් දැකීමට නම්, නිවන් මඟ පිළිබඳ කිසි සැකයක් නෙ‍ාපැවැතිය යුතු ය. ජීවිතය පිළිබඳ යථාවබෝධය ඇති කර ගැනීම සඳහා විශ්වාසනීයත්වයෙන් හා සම්මා සතියෙන් යුතුව අවබෝධය සඳහා වු මඟෙහි ගමන් කළයුතු වෙයි.

මෙම පංච විධ නීවරණ දුරු කර ගත් සිත, නිවනට පත් වෙයි. නිවන් දකින තුරු සසර මඟ හමුවන සියලු දුක් වේදනා නිවා ගැනීමට ද මෙම සිතිවිලි පහ දුරු කිරීම, අවශ්‍ය වෙයි.


(Group)
http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts


(Blog)
http://saveourbuddhism.blogspot.com/


(e-mail)
saveourbuddhism@gmail.com


Tuesday, November 3, 2009

සසර බැමි සිඳ දමන පිළිවෙත් හතක්


සබ්බාසව සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ සසරින් නිදහස් වීමට පිළිවෙත් පුරන ශ්‍රාවකයා ඔහුගේ මනසෙහි උපන්නා වූ කෙළෙස් ප්‍රහාණය පිණිස ද, නූපන්නා වූ කෙළෙස් නූපදීමට ද වග බලා ගත යුතු බව ය. එසේම කෙළෙස් ප්‍රහීණ කිරීම, දර්ශනයෙන්, සංවරයෙන්, පටිසේවනයෙන්, නිසි පරිහරණයෙන්, ඉවසීමෙන්, වර්ජනයෙන් සහ භාවනාවෙන් යනුවෙන් ආකාර 7 කින් කළ යුතු බව දේශනා කොට ඇත.

සත්වයා නැවත නැවත සසර ඉපදීමට හේතුව වශයෙන් බුදුදහමෙහි දක්වා ඇත්තේ සත්ත්වයාගේ මනසෙහි මුල් බැස ඇති කෙළෙස් සමුදායයි. පුද්ගලයාට සසර නැවත උපතක් ඇති කර දෙමින් නිමක් නොපෙනෙන මරු කතරක් හා සමාන සංසාරයට ඇද දමන කාරණා 4 ක් පිළිබඳ තථාගතයන් වහන්සේ පැහැදිලි කොට ඇත.

මේවා ‘ආශ්‍රව යැයි’ හඳුන්වනු ලැබේ. මෙම ආශ්‍රව ධර්ම 4 නම්, කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව හා අවිච්ඡාශ්‍රව වන්නේ ය. මෙහි දී කාමාශ්‍රව වශයෙන් හඳුන්වා ඇත්තේ කාමයන් පිළිබඳව ඇති දැඩි බැඳීමය. භවශ්‍රව යනු කාම - රූප අරූප යන ලෝකත්‍රයට ඇති බැඳීම බව දත යුතු ය. දිට්ඨාශ්‍රව යනු පුද්ගලයා විසින් ගොඩනගා ගෙන ඇති විවිධ දෘෂ්ටි ය. අවිච්ඡාශ්‍රව යනු පුද්ගල මනසෙහි හටගන්නා මුලාව යැයි දත යුතුය. මෙසේ කියන ලද ආශ්‍රව පිළිබඳ සහ මෙම ආශ්‍රව ක්ෂය කිරීමේ පිළිවෙළ පිළිබඳ පැහැදිලි කරන ලද දේශනයක් ලෙස මජ්ඣිම නිකායේ සබ්බාසව සූත්‍රය හැඳින්විය හැකි ය.

දිනක් තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කල්හි භික්ෂූන් වහන්සේ අමතා ‘මහණෙනි, ආශ්‍රව ක්ෂය කිරීම දන්නා අයට හා දක්නා අයට පමණක් සිදුකළ හැකි දෙයක් වන්නේ ය. කුමක් දන්නා හා දක්නා අයට ද? යෝනිසෝමනසිකාරය හා අයෝනිසෝමනසිකාරය දන්නා අයට ය. අයෝනිසෝමනසිකාරය ඇති තැනැත්තා තුළ නිතර නිතර නූපන් කෙළෙස් හට ගන්නේ ය. යෝනිසෝමනසිකාරය ඇති තැනැත්තාගේ නූපන් ;කළෙස් හට නොගන්නේ ය. තථාගතයන් වහන්සේ මෙම ආශ්‍රව ධර්ම 4 ප්‍රහාණය කළ යුතු ආකාරය පැහැදිලි කරමින්,

මහණෙනි! දර්ශනයෙන් පහ කළ යුතු කෙලෙස් ඇත. සංවරයෙන් පහ කළ යුතු කෙළෙස් ඇත. පටිසේවනයෙන් (ප්‍රයෝජනයට ගැනීමෙන්) පහ කළ යුතු කෙළෙස් ඇත. පරිහරණයෙන් පහ කළ යුතු කෙළෙස් ඇත. ඉවසීමෙන් පහ කළ යුතු කෙළෙස් ඇත. වර්ජනයෙන් පහ කළ යුතු කෙළෙස් හා භාවනාවෙන් පහ කළ යුතු කෙළෙස් ඇත ආදී වශයෙන් විවිධ කෙළෙස් නැති කළ යුතු විවිධ පිළිවෙත් ඇති බව දේශනා කළහ.

මෙහිදී දර්ශනයෙන් පහ කළ යුතු කෙළෙස් කවරෙද යත්, ධර්මය නූගත් පෘතග්ජන තැනැත්තා මෙනෙහි කළයුතු දෙය නොදකි යි. මෙනෙහි නොකළ යුතු දෙය ද නොදකියි. එබැවින්, ඔහු මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරයි. මෙනෙහි කළයුතු දේ මෙනෙහි නොකරයි. ඒ කෙසේද යත්, යම් දෙයක් මෙනෙහි කිරීමෙන් නූපන් කාමාශ්‍රව (කාමයන්ට ඇති බැඳීම්) උපදීද, උපන් කාමාශ්‍රව ප්‍රගුණ වෙයි ද, නූපන් භවාශ්‍රව (භවයට ඇති තෘෂ්ණාව) උපදියිද, උපන් භාවශ්‍රව වැඩෙයි ද, නූපන් අවිජ්ජාශ්‍රව (මුලාව) උපදියි ද, උපන් අවිජ්ජාශ්‍රව ප්‍රගුණ වෙයිද, ධර්මය නොදත්තා වූ පුද්ගලයා මෙසේ මෙනෙහි නොකළ යුතු දෙයම මෙනෙහි කරන්නේ ය.

එසේම මෙම අශ්‍රැතවත් තැනැත්තා විසින් මෙනෙහි නොකරන්නා වූ ද එහෙත් මෙනෙහි කළ යුතු දෙය කුමක් ද යත්, යම් දෙයක් මෙනෙහි කිරීමෙන් නූපන් කාමාශ්‍රව හට නොගනීද, උපන් කාමශ්‍රව දුරු වෙයි ද, නූපන් භවාශ්‍රව හට නොගනී ද, උපන් භවාශ්‍රව දුරු වී යයි ද, නූපන් දිට්ඨාශ්‍රව හට නොගනී ද, උපන් දිට්ඨාශ්‍රව දුරු වෙයි ද, නූපන් අවිජ්ඡාශ්‍රව හට නොගනීද, උපන් අවිජ්ඡාශ්‍රව දුරු වෙයි ද, මෙය ඔහු විසින් මෙනෙහි කළ යුත්තේ ය. එහෙත් ඔහුගේ මෝහයේ ඇති බලවත්කම නිසාම එසේ මෙනෙහි නොකරන්නේ ය. ඔහු අයෝනිසෝමනසිකාරයම දිගින් දිගටම ප්‍රගුණ කරන්නේ ය. ඔහුගේ මෙම අයෝනිසෝමනසිකාරය නිසා විවිධාකාර දෘෂ්ටි ඇති කරගන්නේ ය. එනම් අතීතයේ මම සිටියේ ද? නැද්ද? අනාගතයේ දී මම කවුරුන් වන්නෙමි ද? කෙසේ සිටිම්ද? ආදී වශයෙන් තුන් කාලය පිළිබඳ විවිධාකාර දෘෂ්ටි ඇතිකර ගන්නේ ය. එසේම මේ ආකාරයට වැරැදි සංකල්පනා ගොඩනගන මොහුට, හය ආකාරයකින් දෘෂ්ටි ඇති වන්නේ ය. එනම් 1. මට ආත්මයක් ඇත, 2. මගේ ආත්මය නැතිවෙලා යන එකක්, 3. ආත්මයකින් තමයි මම ආත්මය හඳුනාගන්නේ, 4. ආත්ම නොවන දෙය මම හඳුනාගන්නේ ආත්මය තුළින්, 5. මාආත්මය හඳුනාගන්නේ , අනාත්මයක් (ආත්ම නොවන දේ) තුළින්, 6. කථා කරන, සැපදුක් විඳින ආත්මයක් මා තුළ තියෙනවා. තථාගතයන් වහන්සේ ;මම දේශනයෙදී පැහැදිලි කරනුයේ අශ්‍රැතවත් තැනැත්තා තුළ මේ ආකාරයට දෘෂ්ටි හටගන්නා බව ය. මෙය දෘෂ්ටි කාන්තාරයකි. දෘෂ්ටි හුලකි, දෘෂ්ටි කම්පනයකි, එසේම මෙය දෘෂ්ටි බන්ධනයකි. වශයෙන් උන්වහන්සේ පැහැදිලි කළ සේක. මෙසේ දෘෂ්ටි බන්ධන එකතුවීම නිසා, ඔහු ඉපදීමෙන් නිදහස් නොවන්නේ ය. ජරා මරණවලින් නිදහස් නොවන්නේ ය. ශෝක වැළපීම්, කායික මානසික දුක් වලින් නිදහස් නොවන්නේ ය. කෙටියෙන් කියතොත් සසර බන්ධනයට ඔහු හසු වන්නේ ය.

එහෙත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා නිරන්තරයෙන්ම උත්සාහ කරනුයේ නුපන්නා වූ ආශ්‍රව හට නොගැනීමට හා උපන්නා වූ ආශ්‍රව දුරු කිරීමට ය. ඔහු මෙනෙහි කළ යුතු දෙය හා මෙනෙහි නොකළ යුතු දෙය පිළිබඳ මනාව හැඳින, සතර ආකාරයක ආශ්‍රව දුරු කරන්නේ ය. එවිට ඔහු තුළ සසරට බැඳ තබන ලෙස සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය යන සංයෝජන 3 සිඳී යන බව, තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කළ සේක. මේ ආකාරයට දර්ශනයෙන් ඇතැම් කෙළෙස් බැහැර කළ යුතු බව දත යුතු ය. එසේම සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙළෙස් පිළිබඳ විස්තර කරන බුදුන් වහන්සේ, නුවණින් මෙනෙහි කොට චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාණ ඉන්ද්‍රිය, ජිව්හා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනින්ද්‍රිය යන මෙම ඉන්ද්‍රිය සංවර කර වසන්නා වූ ශ්‍රාවකයාගේ ඒවා නිසා හට ගන්නා කෙළෙස් නිසා විඩාව, දැවිල්ල දුරු වන්නේ ය. මෙය, සංවරයෙන් ආශ්‍රව පහකිරීම යැයි දත යුතු ය.

එසේම පරිහරණයෙන් දුරුකළ යුතු ආශ්‍රව ඇත්තේ ය. ශාසනයේ පැවිදි භික්ෂුව තමා පරිහරණය කරන සිවුරු සීත උෂ්ණය වළක්වා ගැනීමට යැයි සිතයි. ලබන ආහාර කුසගිනි වේදනා දුරු කර ගැනීමට යැයි ද පරිහරණය කරන සේනාසන සර්ප ආදී සතුන්ගෙන් ආරක්ෂාව සඳහා යැයිද, ලබන බෙහෙත් නිරෝගී භාවය පිණිස යැයිද කල්පනා කරයි. මෙසේ යෝනිසෝමනසිකාරයෙන් සියල්ල පරිහරණය කරන විට නූපන් ආශ්‍රව නූපදියි. හටගත් ආශ්‍රව දුරුවෙයි. මෙසේ කිරීම, පරිහරණයෙන් ආශ්‍රව දුරු කිරීම යැයි දත යුතුය.

එසේම ඉවසීමෙන් දුරුකළ යුතු ආශ්‍රව ඇත්තේ ය. යමෙක් සීතල උෂ්ණ, මැසි මදුරු පීඩා, සා පිපාසා, නින්දා අපහාස, මාරාන්තික ශාරීරික වේදනා, උපේක්ෂාවෙන් ඉවසා දරා ගන්නේ ද, ඔහුට ඒවා නො ඉවසීම නිසා ඇතිවන කෙළෙස් නිසා හටගන්නා වූ වෙහෙස හා දැවිල්ල නැතිවී යන්නේ ය. මෙය, ඉවසීමෙන් ආශ්‍රව පහ කිරීම යැයි දත යුතු ය.

එසේම වර්ජනයෙන් පහ කළ යුතු ආශ්‍රව ඇත. නුවණැත්තා නපුරු සතුන් ඇති ස්ථාන මඟ හැර යයි. උල්කටු ලැහැබ් සහිත ස්ථාන මඟ හරියි. තමාගේ සීලයට චෝදනා කළ හැකි (සීලය බිඳෙන) ස්ථාන මඟ හැර යයි.

තමාට නුසුදුසු ස්ථාන ඇසුරු නොකරමින්, පාප මිත්‍රයන් දුරු කරයි. මෙමගින් එකී කාරණාවලින් එළඹෙන වෙහෙස දුරු වී යයි. පීඩාව නැති වී යයි. මෙය වර්ජනයෙන් කෙළෙස් දුරුකිරීම යැයි දත යුතු ය. එමෙන්ම, ඉවත් කිරීමෙන් ආශ්‍රව දුරු කිරීමක්ද ඇත. එනම් යම් අවස්ථාවක කෙනෙක් කාම සිතිවිලි, ව්‍යාපාද සිතිවිලි, හිංසා සිතිවිලි, තම සිතෙන් වීර්යයෙන් දුරුකරයි ද, අභාවයට පත් කරයි ද, ඉවත් කරයිද, එය ඉවත් කිරීමෙන් ආශ්‍රව දුරුකිරීම යැයි දත යුතු ය.

අවසාන වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරනුයේ භාවනාවෙන් ආශ්‍රව පහ කිරීම ගැනය.

යම් ශ්‍රාවකයෙක් විවේකය, විරාගය, නිරෝධය ආධාර කොට, සති සම්බොජ්ඣංගය, ධම්ම විචය සම්බොජ්ඣංගය, වීර්ය සම්බොජ්ඣංගය, පී‍්‍රති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපේක්ඛා සම්බොජ්ඣංගය වඩන්නේ ද ඔහුට නූපන්නා වූ ආශ්‍රව නූපදින්නේය, උපන්නා වූ ආශ්‍රව දුරු වී යන්නේය.

මේ ආකාරයෙන් යම් ශ්‍රාවකයෙකු විසින් දර්ශනයෙන් සංවරයෙන් නිසි පරිහරණයෙන්, ඉවසීමෙන්, වර්ජනයෙන්, බැහැර කිරීමෙන් හා භාවනාවෙන් යන ආකාර 7 කින් ආශ්‍රව ප්‍රහාණය කිරීමට දක්ෂ වන්නේ ද, හෙතෙම තෘෂ්ණාව සිඳ දමන අයකු වන්නේ්ය. සියලු සංයෝජන පහ කරන ලද වන්නේ ය. ඔහු මානය විනිවිද දැකීමෙන් සසර දුක කෙළවර කළ අයකු වන බව, තථාගතයන් වහන්සේ දේශනා කළ සේක.

තෙරුවන් සරණයි (Group) http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts (Blog) http://saveourbuddhism.blogspot.com/ (e-mail) saveourbuddhism@gmail.com