Tuesday, April 6, 2010

දෙයාකාර බර


නික්ඛිපිත්වා ගරුං භාරං
අඤ්ඤං භාරං අනාදිය
සමූල තණ්හං නිග්ගය්හ
නිච්ඡාතෝ පරිනිබ්බුතෝ තී
(සංයුක්ත නිකායේ භාර සූත්‍රය)

මෙම භාර සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ උගන්වා වදාළේ අප සසර කතරේ භවයෙන් භවයට උස්සගෙන යන පීඩා විඳින අතහරින්න බිම තියන්න අමාරු අපහසු සිතින් දරන බර පිළිබඳවයි. මොනවද? මේ බර. ගේ දොර
ඉඩකඩම් වතුපිටි හරකාබාන මිළ මුදල් දූදරුවන් ඥාතීන් පිළිබඳ බරයි ඒ.

පින්වත් ඔබ සූදානම් වන්නේ බුදුසරණ දහම් ලිපිය වෙත ඔබේ පින්වත් නෙත සංවර සිත යොමන්නයි. අපේ බුදුරජාණන් වහන්සේ වදාළ ‘සුනාථ ධාරේථ චරාථ ධම්මේ’ කියල දේශනා කෙරෙන ධර්මය මැනවින් අසන්න ඒ ධර්මය හොඳින් ධාරණය කරන්න. ඊට අනුකූලව හැසිරෙන්න කියලා එසේ හොඳින් අසන දරන හැසිරෙන පුද්ගලයා ‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’ කියන අයුරින් ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබනවා. එමෙන්ම ‘ධම්මකාමෝ භවං හෝතී’ ධර්මයට ඇල්මක් කැමැත්තක් රුචියක් දක්වන පුද්ගලයා දියුණුවෙනවා. ධම්මදෙස්සී ධර්මයට ද්වේශ කරන්නා පරාභවෝ පිරිහීමට පත්වෙනවා.

මා මුලින් සඳහන් කළ ගාථාව ඇතුළත් වන්නේ සංයුක්ත නිකායේ භාර සූත්‍රයේ. මේ සූත්‍රයේ සඳහන් ආකාරයට බර දෙයාකාරයි. අපේ දෑතින් කරින් හිසින් ඔසවන බර එකක්. මේ බර කිරන්න මනින්න ඔසවන්න බාන්න පටවන්න පුළුවන්. අනෙක අපේ හිතින් හදවතින් දරාගෙන විඳගෙන ඔසවාගෙන ඉන්න බර. මෙම භාර සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ උගන්වා වදාළේ අප සසර කතරේ භවයෙන් භවයට උස්සගෙන යන පීඩා විඳින අතහරින්න බිම තියන්න අමාරු අපහසු සිතින් දරන බර පිළිබඳවයි. මොනවද? මේ බර. ගේ දොර ඉඩකඩම් වතුපිටි හරකාබාන මිළ මුදල් දූදරුවන් ඥාතීන් පිළිබඳ බරයි ඒ. එපමණක් ද? නෑ. දෑස නොපෙනෙන විට, අතපය දුබල වනවිට ධාරණ ස්මරණ ශක්තිය අඩුවනවිට දිවාරෑ දෙක්හි හිතේ ඇතිවන බර. මේක මහා දුකක්. සංසාරෙ දිගු ගමනක යෙදෙන අපි මෙවැනි විවිධ බර අරගෙන දරාගෙන භවයෙන් භවයට මහත් දුකට වේදනාවට පසුතැවීමට අසහනයට පත් වෙනවා.

අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ භාර සූත්‍රයේදී මේ සියලු බර ඉතා මැනවින් පැහැදිලි කරනව. හිතින් තදින් අල්ලගන්න, එල්බ ගන්න ග්‍රහණය කරගන්න. එවිට අපි කියන්නේ උපාදාන කියලා. එසේනම් බුදුරදුන් මෙහිදී පඤ්ච උපාදානස්කන්ධයම බරක් වශයෙන් පෙන්වා වදාළා. රූපය සිරුර තදින් අල්ලාගෙන, වේදනාව විඳීම සැපදුක් වශයෙන් තදින් අල්ලාගෙන සඤ්ඤාව හඳුනාගැනීම තදින් අල්ලාගෙන චේතනා විජාණන අරමුණු මේ සියල්ලම මම මගේ මටම කියල තදින් අල්ලාගෙන. මේ පඤ්ච උපාදානස්කන්ධයේම බර දරාගෙන අනේකවිඳ ජාති ජරා මරණ ශෝකාදී වශයෙන් දුක් විඳිමින් දුක උරුම කරගනිමින් මේ බියකරු දිගු සසරෙහි අපි ගමන් කරනව.

භාර සූත්‍රය දෙවනිව අවධාරණය කරන්නේ උපාදාන බර. කවරෙක්ද? මේ බර. සසර පුරා රැගෙන යන්නේ. විවිධ නම්වලින් හඳුන්වන පුද්ගලයන් වන පුහුදුන් අපිටයි. තෙවැනිව භාරදාන කියන්නේ මොකක්ද කියල මෙහි ඉගැන්වෙනව. ඒ තමයි තණ්හාව. ආශාව ඇල්ම ගිජුකම. තවත් ගැඹුරින් කල්පනා කළොත්, නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දනී - කියන විදිහට නන්දිරාග සහගත රූපාදී අරමුණුවල අභිනන්දන ස්වභාවය ඇති තණ්හාවයි. ඒ කියන්නේ සදාකාලිකවම පසිඳුරන් පිනවමින් කම් සැප විඳීමේ ආශාවයි. එසේම පරලොව නොපිළි ගනිමින් මරණින් මෙහා සැප විඳීමේ ඇති කැමැත්ත. කාම භව විභව වශයෙන් යම් දේ පිළිබඳ ඇතිවන ආශාවයි.

භාර සූත්‍රයේ ඉගැන්වෙන සිව්වන කාරණය ‘භාර නික්ඛේපයයි’. එනම් බර අත්හැරීමයි. බරෙන් නිදහස් වන එකයි. ‘අසේස විරාග නිරෝධා’ කියන විදිහට තෘෂ්ණාව ඉතිරි නොකරම දුරු කිරීම භාර නික්ඛේපයයි. පින්වත්නි, බුදුපියාණන්වහන්සේ අපට නිතර උපදෙස් දී වදාළේ ඉතා සැහැල්ලු අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න කියලයි. බෞද්ධයා ඉතා චාම් ජීවිතයකින් යුත් අයෙක්. ඔහුගේ ජීවන පැවැත්ම ඉතා සරලයි. බෞද්ධකම අර්ථවත් කරන බෞද්ධයෙකු ළඟ තිබිය යුතු ගුණධර්ම පහක් බුදුහාමුදුරුවෝ පෙන්වා වදාළා. සන්තුස්සකොච ලද දෙයින් සතුටුවීම, සුභරෝච පහසුවෙන් පෝෂණය කළහැකි අයෙක් වීම, අප්පකිච්චෝච - අල්පකෘත්‍යතාවය හෙවත් ටිකක් වැඩ කරන්නෙකු වීම, සල්ලහුකවුත්තී - සැහැල්ලු බව, සන්තින්ද්‍රියෝච - ශාන්ත ඉඳුරන් ඇතිබව, මේ සියලු කරුණුවල හැම ගුණයකම පදනම කුමක්ද? තෘෂ්ණාවෙන් තොර අඩු බලාපොරොත්තු ඇති බවයි. සැහැල්ලුවෙන් ජීවත්වීමයි. දානාදී පින්කම් ඉගැන්නුවෙත් අසීමිත තෘෂ්ණාවෙන් ක්‍රමිකව අත්මිදෙන්නයි.

මා මුලින් සඳහන් කළ ගාථාවෙන් පැහැදිලි වන්නේ සියලුබර බහා තැබූ එයින් නිදහස් වූ රහතන් වහන්සේගේ නියම ස්වභාවයයි. බුදුපියාණෝ රහතන් වහන්සේ හඳුන්වා තිබෙන්නේ ‘ඕහිතභාර’ කියල. උන්වහන්සේ සතු සැහැල්ලුව ලෝකෝත්තරයි. කිසිදු බරක් නැහැ. මුලින් මාතෘකා කළ ගාථාවේ සරළ අදහස පඤ්චස්කන්ධය නමැති බරින් නිදහස්ව වෙනත් බරක් කරට නොගෙන තණ්හාවේ මුල් උදුරා දැමූ රහතන්වහන්සේ ආධ්‍යාත්මික සාගින්නෙන් නිදහස් වූයේ පිරිනිවීමට පත් වූයේය යනුය. එබැවින් ඔබ අපි සැමදෙනම මේ රුදුරු සසරෙහි පවත්නා ලෞකික බර මැනවින් තේරුම්ගෙන සසර පුරා දුක්දෙන මෙකී බරෙන් නිදහස්ව සැහැල්ලු අර්ථවත් ජීවිතයක් ගොඩනගාගෙන සියලු දුක් කෙළවර අමාමහ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කටයුතු.

තෙරුවන් සරණයි!